උදෑසනින්ම ලෝකය අවදි වෙයි. මම නොසිටිමි. නමුත් කාල්පනික ලෝකයක නිමග්නව සිටිමි. හතට ලෝකය භාෂාවකින් කිසිවක් නොසිතේ...මගේ දෙනෙත් විවර වේ. නමුත් "මම" තවමත් අවදි වී නොමැතය. "මම" ගැඹුරු නින්දේය.
නිදන කාමරයට එහි කවුළුවෙන් උදෑසන අරුණාලෝකය නිහඬව ගලා එයි. ලෝකය හිස් අවකාශයකි. සිතුවිලි තිබේ. සිතුවිලි වළාවෝ නිදහසේ පා වෙති. නමුත් ඊට හිමිකරුවෙකු නොමැත. ඒ වළාකුළු කිසිවක් මගේ නොවේ."මචං ඇන්ජිම තවමත් ස්ටාර්ට් වෙලා නැහැ" මගේ මිත්‍රයා කියයි. විහිළුවක් වගේ නමුත් ඒ සත්‍යයකි.
ඇය සමග ආදරයෙන් වේළී රති සුවය විඳිමින් ඇයගේ සාරය උරා බෝද්දීත්, ඊට පසුව ඇති වන ප්‍රමෝද ජනක නිහඬ තෘප්තියේදීත්, එම ප්‍රමෝදය උත්කර්ෂවත් කරුණු වස් මල්පැන් වඩියක් තොල ගාද්දීත් මම මතින් ඔද්දල් වෙමි.
එහිදී ලෝකය විශාල හෝ කුඩා නොවේ. ලෝකය ඊට නිරපේක්ෂව පවතියි. මගේ මනෝභාවය ඊට නිරපෙක්ෂයි. නොවේ. ශරීරයක්, හුස්ම රැල්ලක් සහ නිහඬතාවයක් පමණි. ඕමාර් කයියාම ලෝකය දෙස බැලුවේ ද මේ විනදන්යෙන් යැයි මට සිතේ.
උදේ අටට පමණ මම කෝපි කෝප්පයක් තොල ගාමින් සිගරට්ටුවක් දල්වා දුම් උරා බෝමි. දුම් වළාවෝ හිස් අවකාශයේ වළාකුළු සේ විසිරී-පැතිරී-නැති වී යයි. හරියට සිතුවිලි බඳුය. එහෙත් ඒ මොහොතේ සිතුවිලි නොමැත. දුම් වළලු පමණි. සතුටක් හෝ දුකක් නොමැත. හිස්ය. ගුඩය. ඒ හිස් බව ඇතුළේ මම මගේ ගැඹුරුම කල්පනා උද්වීපනය කරමි.
මත්භාවය ඇති වන්නේ මදුවිත පානයෙන් යැයි මම කලින් සිතුවෙමි. සිතින් සහ සිතුවිලිවලින් ද මත් විය හැකි බව මම මම දැන් දනිමි. සමහර විට ඒ මත්භාවය මදුවිතින් මා මා භුක්ති විඳින මත්භාවයට වඩා ඉහළ පරාසයක තිබේ. එහි ඇත්තේ බලවත් අලස සුවයකි...ඒ වෙලාවට මට ලෝකය තේරෙයි. නමුත් ඒ අවබෝධයට භාෂාවක් නොමැත. ඒ අන්තර් ඥානයයි. නමක් නැති අවබෝධයයි-නිමක් නැති නිහඬතාවයයි.
නමුත් උදෑසන දහයට පමණ පසුව ලෝකය වේගයෙන් විපරිනාමය වෙයි. වගකීම්-යුතුකම්-රාජකාරි ඇවිත් දොරට තට්ටු කරයි. මම තිගැස්සෙමි. උණුසුම් රුධිර ධාරාවකින් සර්වාංගයම වේළී ගොස් උණුසුම් වෙයි. මම වහාම නැගී සිටිමි. කම්මලක වැඩ ඇරඹුණා සේය. ඇන්ජිම පණ ගැන්වී ඇත. ඒ සමගම "මම" නැවත උපදිමි.
මත්භාවය තව දුරටත් වලංගු නොවේ. කවිය වියැකී ගොස්ය. එහි ඇත්තේ වගකීම්-යුතුකම්-රාජකාරි පමණි. ඒ නිසා මගේ අභ්‍යන්තරික ජීවිතයේ ලෝක දෙකක් තිබෙන බව මම දනිමි. ඒ නමක් නැති-නිමක් නැති අලස සුවයේ නිදහස් ලෝකය. ඊට එදිරිව වගකීම්-යුතුකම්-රාජකාරි බහුල දෘඩ ලෝකය. මේ ලෝක දෙක අතර සෑම උදෑසනකම "මම" නැවත නැවතත් උපදිමි. සමහර උදෑසනක මට හිතෙයි.ඒ පළමු ලෝකයේ “මම” ඇත්තටම කිසිදා යළි උපන්නේ නැතිද කියා.
Lanka Newsweek © 2026